(නිමන්ති රණසිංහ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් සිව්දෙනකු ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළේය .

මෙම සැකකරුවන්ගෙන් දෙදෙනකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් අද (20) එම පෙරට්ටුව නොපැවැත්විණි. ඒ අනුව එම පෙරටුව 27 වැනිදා පැවැත්වීමට අධිකරණය නියෝග කළේය .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජාඇල, ගාල්ල සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 30 ත් අතර වයසේ පසුවන තරුණයන් සිව් දෙනෙකි .

මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අගතිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ මිස්බාක් සත්තාර් මහතා සඳහන් කර සිටියේ ගිනි ගැනීමට ලක්වූ අග්‍රාමාත්‍ය නිවසේ තිබූ පොත්පත් ජාතික වටිනාකමකින් යුක්ත ඒවා බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව ය.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව ය .