(අංජුල මහික වීරරත්න)

ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන්  ඉල්ලා සිටියේය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක්   (Sharm El Sheikh)  හි දී  පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට අද (07) සහභාගී වෙමිනි.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව ද කී ජනාධිපතිවරයා  එසේ නොවුණහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බව පැවසීය.