(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන් .එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එතෙක් ජනතාවට දුෂ්කරතා අත් විඳීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉතා ඉක්මණින් මාණ්ඩලික ගිවිසුමකට එළඹීමට හැකියාව ලැබෙනු ඇතැයි ද පත්වන නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව කාලය තීරණය වන බව වීරසිංහ මහතා පැවසුවේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවති තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සැලැස්ම තාක්ෂණික කණ්ඩායම වෙත ඉදිරිපත් කළ බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීමේදී ප්‍රථම පියවර මාණ්ඩලික ගිවිසුමකට එළඹීම බව ඔහු සඳහන් කළේය.
ස්ථාවර රජයක් පත් වී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ සැලස්ම ඉක්මණින් ක්‍රියාත්මක කළහොත් මසක් ඇතුළත් මාණ්ඩලික ගිවිසුමකට එළඹීමට හැකියාව තිබෙන බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. ස්ථාවර රජයක් පත් නොවූහොත් එය තවත් කල් යා හැකි බව ඔහු සඳහන් කළේය. සියල්ල තීරණය වන්නේ නව රජය සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව බව ඔහු ප්‍රකාශ කළේය.
මාණ්ඩලික ගිවිසුමකට මසක් ඇතුළත එළඹීමට හැකියාව ලැබුණත් එය පළමු පියවර බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්පසුව ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා එකඟතාවයකට පැමිණිය යුතු බවත් එම ක්‍රියාවලිය අවසන් කිරීමට මාස කිහිපයක් ගත වෙන බවත් වීරසිංහ මහතා සඳහන් කළේය.
මෙම පියවර දෙක සම්පූර්ණ කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ඔහු පැවසුවේය. ඒ අනුව දෙසැම්බර් මස මැද භාගය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙනු ඇතැයි වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඉදිරි සති කිහිපය සඳහා පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීමට මහ බැංකුව මුදල් ලබා දුන්නත් ඉන්පසු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය පහසුකම් මිත්‍ර රටවල්වලින් ලබා ගැනීමේ වගකීම නව රජය වෙත පැවරෙන බව වීරසිංහ මහතා පැවසුවේය.
ඉවසීමෙන් කටයුතු කරමින් නව රජය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා තීරණ දෙස බලාපොරොත්තුවෙන් බලන ලෙස වීරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් අරගල කරන අය ඒවා නවත්තලා සංචාරක ව්‍යාපාරයම ගැන හිතලා ඩොලර් රටට වඩින එකට අතහිත දුන්නොත් මාස දෙකෙන් රට ගොඩ...!
පොදුජනයා පවා හොඳින් දන්නවා හොරුන්ගෙන් තොරව වගකීම් නිසි අයුරින් ඉටුකරන අයගෙන් යුක්ත ඇමැති මණ්ඩලයක් පත්වූවොත් ණය වලෙන් රට ගොඩඒම වැඩි ඈතක නොවේ...
ජවිපෙ, පෙරටුගාමී අරගල කරුවන්ට කියන්න තියෙන්නේ ,දැන් පැත්තකට වෙලා ඉන්න. කුමාර් ගුණරත්නම් ටත් එයාගේ ඕස්ට්‍රේලියාවේ තියෙන මිලියන 500-600ක් වටිනා ගෙදර ගිහින් ඉන්න අලුත් ආණ්ඩුවට තමන්ගේ වැඩේ කරගෙන යන්න දෙන්න. විවේචන තියෙනවා නම් පැහදිලිව සාමකාමිව දැනුම් දෙන්න. මේ රටේ මේ තත්වෙට ඔයාලගෙත් 50% ක දායකත්වයක් තියෙනව.
එයත් පටන් අරන් අපිව අන්දලා කඩේ යන්න...
හැමදාම මේ දුක නොවිඳ මාස හයකින් ඉවරවෙනවා නම්, කොපමණ හොඳද ? අරගල කරුවන් ඝෝථා හා මහින්දව යැව්වා.ඒත්,ඉතින් ඒ අය කියනා විදිහට එන එන හැමෝවම යව යවා ඉන්න ගියොත්,රටේ තත්වය වඩ වඩාත් නරක අතට හැරේවි.දැන් ඒ අයට දේශාපාලන පක්ෂයක් තියෙන එකේ ඊළග මැතිවරණයට තරඟ වැදීමට ඉඩ ප්‍රස්තා පවතී. සැවොම එකතුවී රට ගොඩගෙන පසුව,මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණ පවතින ක්රමයෙහි වෙනස්කම් ප්රජාතන්ත්රවාදී රාමුවේ සිට සිදුකළ හැකිය.
මේක තමා ඇත්ත. රාජපක්ෂලා කාපු රට ගොඩගන්න ලේසියෙන් බෑ. රනිල් ඩලස් සජිත් අනුර නෙවෙයි අපේ මෝටිවේෂන් අප්පච්චි ආවත් වෙන්නෙ ඕක