(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතිනම් ඒ සඳහා මුදල් ඉතිරිකරගැනීමේ පළමු පියවර ලෙස රාජ්‍ය ඇමතිවරු 39 දෙනා අහෝසි කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

රාජ්‍ය ඇමතිවරුන් 39ට දෙනා වෙනුවෙන් වාහන 340කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන, වැටුප්, කාර්ය මණ්ඩල, විදේශ ගමන්, වරප්‍රසාද ආදිය සඳහා කෝටි ගණනක අති විශාල ධනස්කන්ධයක් වැය කරන බවත්, එම මුදල ඉතිරිකර ගත හැකි බවත් ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වසරක් රට පාලනය කළේ එක් රාජ්‍ය ඇමතිවරයකු හෝ නොමැතිව බවත්, වත්මන් රජය මැතිවරණයට පමණක් මුදල් නැති අතර රාජ්‍ය ඇමතිවරු නඩත්තුවට මුදල් තිබෙන බව ද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස ජනතා සභා කාර්යාලයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට රජය නොගහන තුරුම්පුවක් නැතත් ඒ කිසිඳු තුරුම්පුවක් සාර්ථක වන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම මැතිවරණය වෙනුවෙන් 2022 අයවැය මගින් මුදල් වෙන්කර ඇති බව ද මන්ත්‍රීවරයා කීවේය.