(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විවිධ අදහස්  හේතුවෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගැනීමට හැකිවී නැතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අනිද්දා (18) බදාදා නැවත වරක් රැස්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව හෙට (17)  සිට ලබන 20 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමටද  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2307/12 සහ  2308/26 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද රෙගුලාසි ද  විදේශ විනිමය පනත යටතේ අංක 2308/51 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද  අද  (17) විවාදයට ගෙන අනුමත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එම විවාදය අද (17) පෙරවරු 10:30 සිට පස්වරු  5.00 දක්වා පැවැත්වෙනු ඇත.

ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් ලෙස,  මන්ත්‍රී  ඉමිටියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 126) සහ  මන්ත්‍රී  ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 160) දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව විපක්ෂය  ඉදිරිපත් කරන යෝජනාවක් අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙනු ඇත.

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අනිද්දා (18 ) පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත ආයතන කිහිපයකට අදාළව පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශයක කාරක සභාවල අනුමතිය හිමිව ඇති වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 22 ක්ද අනතුරුව අනුමැතිය  සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව සභාව කල් කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා  එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කෙරෙනු ඇත.

මේ අතර ශෝක යෝජනා විවාදයක් ලබන  20 වැනිදා සිකුරාදා පැවැත්වේ.

අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් වන  උපාලි මර්වින් සෙනරත් දසනායක, වෛද්‍ය නෙවිල් ආතර් ප්‍රනාන්දු,  ගුණරත්න වීරකෝන් සහ  රාජා කොල්ලුරේ යන මහත්වරුන් වෙනුවෙන් මෙහි දී ශෝකය පළ කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය