(මනෝප්‍රිය ගුණසේකර)

බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක් කර මාස හයකදී රුපියල් තිස් හය කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන ජාතිකයකු සතු එම මුදල රජසන්තක කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහුට රුපියල් කෝටි තුන හමාරක දඩයක් ද නියම කළේය.

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව පෙන්වා දෙමින් විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර එය වසර 15ක කාලයකට අත්හිටුවීමට ද විනිසුරුවරයා නියම කළේය.

චීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී රුපියල් කෝටි 36 ½ කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබූ චූ ෂෙන් නමැති චීන ජාතිකයාට මෙලෙස දඬුවම් නියම විය.

2017 සැප්තැම්බර් පළමුවැනිදා සිට 2018 පෙබරවාරි 28 වැනිදා දක්වා අතර කාලය තුළ කොළඹදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් තිස් හයෙකා්ටි පනසි ලක්ෂයක මුදලක් උපයා ගත් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවලට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම තත්වය රටට ඉතා අහිතකර බව පැවැසීය.

එම නිසා සෙසු විදේශිකයන්ට ද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රන්ජන් ද සිල්වා මහතා ලංකාව තුළ මැණික් වෙළෙදාම් කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය බව නොදැන කළ ව්‍යාපාරය නිසා තම සේවාදායකයාට එරෙහිව මෙම චෝදනා එල්ල වූ බවත් ලංකාව තුළ මැණික් වෙළෙදාම් කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය බව දැනගත් වහාම ඔහු ඊට අවශ්‍ය බලපත්‍ර ලබාගත් බවත් කීය.

කෙසේ වුවත් විදේශිකයකු වන තම සේවාදායකයාට ලිහිල් දඬුවම් නියම කරන්නැයි නීතීඥ රන්ජන් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති දෙවැනි චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුට නීති විරෝධී ආකාරයෙන් උපයාගත් බවට චෝදනා එල්ල වී ඇති රුපියල් මිලියන 365 මුදල මෙන් තුන් ගුණයක මුදලක් දඩයක් පැනවිය හැකි වුවත් විත්තිකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු අනුව එවැනි නියෝගයක් හෝ සක්‍රීය සිර දඬුවම් නියම නොකරන බවත් විනිසුරුවරයා පැවැසීය.

ඉන් අනතුරුව විත්තිකරුට අදාළ දඬුවම් පැනවීය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ රජයේ අධිනීතීඥ පද්මලාල් ද සිල්වා මහතා සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ හේමන්ත වික්‍රමසිංහ මහතා සමග නීතිඥ රන්ජන් ද සිල්වා මහතා පෙනී සිටියේය.