(අංජුල මහික වීරරත්න)

චීන ඉන්ධන සහනය ගොවීන්ට දෙන දිනය සතියකින් පමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා(16) අදාල ඉන්ධන සහනාධාරය ගොවි ජනතාවට ලබාදෙන බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම ඉන්ධන සහනාධාරය  අද (9)සිට ලබා දීමට අමාත්‍යංශය කලින් තීරණය කර තිබිණි.

නමුත් වී අස්වනු නෙලීම අරඹන්නේ මේ මාසයේ අග සිට හෙයින් ඉන්ධන සහනාධාරය ලබාදීම තව සතියකින් පමා කිරීම සුදුසු බව නිලධාරීන් අමාත්‍යාංශයට උපදෙස් දී තිබිණි.

ඒ අනුව මෙවර මහ කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාව සඳහා චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ලබන සඳුදා (16) සිට ගොවීන් හත් ලක්ෂ දෙදහසකට හෙක්ටෙයාර් තුන්ලක්ෂ හැත්තෑදහසකට  නොමිලේ  ලබා දෙන බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 සඳුදා සිට ඉන්ධන වවුචර් ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.