(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ ඇරැඹිණි.

ගුවන් හමුදා කඳවුර වෙත ගිය සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි. 

මෙහිදී,  විශේෂ ගුවන් සංදර්ශනය නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක් විය.

ජනාධිපතිවරයා ගුවන් හමුදා කෞතුකාගාරයේදී විශේෂ සමරු සටහනක්ද තැබු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 75ක ගෞරවනීය සේවාව මහජනතාව සමඟ බෙදාගැනීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සංවිධානය කර තිබෙන අතර ගගන ශිල්පීය හා ගුවන් තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනික වශයෙන් වැදගත් විවිධ කුටි රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා සමීපව දැක ගැනීමට හා ඒවා පිළිබඳ තාක්ෂණික තොරතරු දැන ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවන අතර, ගුවන් හමුදාව සතු සියලුම වෘත්තීන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් නිර්මාණය වූ කුටි සහ ගුවන් පියාසැරිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා මෙන්ම සිවිල් ගුවන් යානා රැසක්  මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ.

එමෙන්ම, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර්, ප්‍රවාහන ගුවන් යානා මෙන්ම ජෙට් යානාවලින් සිදු කෙරෙන ගුවන් කරණම් සංදර්ශන, රාත්‍රී ඩ්‍රෝන සංදර්ශන, ගුවන් හමුදා සුනඛ සංදර්ශන, ගුවන් හමුදා විශේෂ ඒකක විසින් ඉදිරිපත් කරන ලද මුදා ගැනීමේ මෙහෙයුම්, ගිනි නිවීමේ සංදර්ශනයක්, පැරිෂුට් සංදර්ශන සහ සරඹ සංදර්ශන, අංගම්පොර සටන් සංදර්ශන හා සංස්කෘතික අංග රැසකින් මෙය සමන්විතය. ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අද (06) සිට මාර්තු 08 වැනිදා දක්වා, දිනපතා දහවල් 2 සිට රාත්‍රී 10  දක්වා මහජනතාවට විවෘත වේ.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.