(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල බන්ධනාගාරයේ  රදවා සිටින රැදවියන් සංඛ්‍යාව මේ වනවිට 2050 දක්වා වැඩි වි ඇති අතර මෙම තත්ත්වය නිසා  රැදවියන් මෙන්ම බන්ධනාගාර කාර්යමණ්ඩලය ගැටළු රැසකට  ලක්ව ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

 මෙම රැදවියන් අතර කාන්තා රැදවියන් 110ක් පමණ සිටින බවද  බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වාදෙයි.

ගාල්ල බන්ධනාගාරය තුළ   රැදවිය හැක්කේ තුන්සියයකට වැඩි පිරිසක් වන අතර  බන්ධනාගාර රැදවියන්ගේ සංඛ්‍යාව වැඩිවිම නිසා  එම රැදවියන්ට අවශ්‍ය ජලය, සනිපාරක්ෂක පහසුකම් සැපයිමේ දි බන්ධනාගාර  කාර්යමණ්ඩලය ගැටළු රැසකට ලක්ව සිටිති. 

ගාල්ල බන්ධනාගාරය තුල පවතින රැදවියන්ගේ තදබදය දැනට වසර ගණනාවක සිට ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටු රැස්විම්වලදි  කථාකරණ මාතෘකාවක්  බවට පත්ව ඇතත් මේවනතෙක් මෙම ගැටළුවට විසදුම් ලැබි  නැතැයි කියයි.

 ගාල්ල බන්ධනාගාරය  එම ස්ථානයෙන් ඉවත්කොට වෙනත් ස්ථානයකට ගෙන යන බවටද පසුගිය කාලයේ කථාබහට ලක්ව තිබුණි.

මිට වසර ගණනාවකට පෙරදි   ඈෂ්ලි ඩිවොස් මහතා විසින් ඉදිරිපත් කොට තිබු ගාල්ල නගර සංවර්ධන සැලැස්මේ ගාල්ල  බන්ධනාගාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල තුල හෝටලයක් බවට පත්කිරිමට සැලසුම්කොට තිබුණි.

 දැනට දශක දෙකකටත් වඩා වැඩිකාලයක සිට ගාල්ල  බන්ධනාගාරය තුල පවතින රැදවියන්ගේ ගැටළුවට මේවනතෙක්  ස්ථිරසාර විසදුමක් ලැබි නොමැත.

 මේ පිළිබදව   ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති හා වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහාගෙන්  අප කළ විමසුමකදි මෙසේ කිවේය.

 මෙම  ගැටළුවට කඩිනමින් විසදුමක් ලබාදෙනවා. බුස්ස  ප්‍ර දේශයේ අක්කර හතක  ඉඩමක් තියෙනවා.  අධිකරණ අමාත්‍යංශයේ ලේකම්තුමා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා දින කිහිපයක් ඇතළත ගාල්ල එවලා මෙම ගැටළුවට  විසදුමක් ලබාදිමට අවශ්‍ය කටයුතු කරණ බවට අධිකරණ ඇමතිතුමා මට දැනුම්දුන්නා යැයි නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.