(සිරංගිකා ‌ලොකුකරවිට)

ගංවතුර හේතුවෙන් හෝ වැසි ජලය බැස නොයාම හේතුවෙන් කොටුවී සිටින්නේ නම් ඒ බව ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දෙන්නැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අවදානම් ලෙස ජලය මතින් තාවකාලික කෙසෙල් කොට, පාරු සහ ලී කැබලි එක්කර සාදා ගන්නා තාවකාලික යාත්‍රා භාවිතා කරමින් ආරක්ෂිත ස්ථාන වෙත යාමට උත්සාහ නොගන්නා ලෙස ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

කොටුවී සිටින පුද්ගලයන් බේරාගැනීම සඳහා නාවික හමුදා යාත්‍රා සහ හෙලිකොප්ටර් යානා සූදානමින් පවතින බැවින් දරුවන් ඇතුළු පවුල්වල අයගේ ජීවිත අවදානමට ලක්කරමින් කටයුතු කිරීම නොකළ යුතු බව දන්වා සිටියි.

හදිසි ජල ගැලීම් සිදුවූ අවස්ථාවල දී වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ අවදානම් ලෙස ජලයේ බැස ගමන් කිරීම හෝ ජලය මතින් අනාරක්ෂිත යාත්‍රා යොදා ගමන් කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් බව ද එම ඒකකය පෙන්වාදෙයි.

සියල්ලට ම පළමු ජීවිත බේරාගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බැවින් අවදානමට වඩා ආරක්ෂාව වැදගත් බව ද සිහිතබා ගත යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දන්වා සිටියි. 

හදිසි අවස්ථාවකදී 091 - 2227315 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.