(සුජිත් හේවාජුලිගේ )

ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට නොමිලේ ජලය සැපයෙන මාර්ගයෙන් ජලය කාලයක් තිස්සේ නීති විරෝධීව ලබාගෙන ඇතැයි කියන කෝටිපති ව්‍යාපාරික කොන්ත්‍රාත්කරුවකුට එලෙස නීති විරෝධීව ලබාගත් ජලය වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න දඩ මුදලක් නියම කර ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

එම දඩ මුදල ඒ ව්‍යාපාරිකයා විසින් පසුව ගෙවනු ලැබූ බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා පැවසීය.

මෙම කොන්ත්‍රාත්කරු එම පාසලේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නෙකි. ඔහු පාසලට නොමිලේ ජලය සපයන මාර්ගයෙන් කාලයක් තිස්සේ එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ජලය ලබාගෙන ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත.

ඔහුට ඉහත දඩ මුදල නියම කර ඇත්තේ ඒ අනුවය.

මේ අතර පාසල් වලට නොමිලේ ජලය සපයන මාර්ග වලින් ඇතැම් ආපන ශාලා, විදුහල්පති සහ ගුරු නිවාස, ව්‍යාපාරික අරමුණින් පවත්වාගෙන යන පිහිනුම් තටාක යනාදිය සඳහා යම් යම් අවස්ථාවලදී ජලය ලබා ගන්නා බවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් මේ දිනවල දැඩි විමසිල්ලෙන් පසුවන බව එම මණ්ඩලය ප්‍රකාශ කරයි.

පාසල් වලට නොමිලේ ලබාදෙන ජලය මෙලෙස අවභාවිතා කිරීමෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි( අයකිරීම්)ඒකනායක වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ජල සම්පත් මණ්ඩල ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ වාණිජ අංශය මෙම දඩ මුදල අය කර ගැනීම සඳහා කටයුතු කර තිබිණ.