(ඉන්දිකා  රාමනායක)

ග්‍රෑන්ඩ්පාස්  මජීඩ්  පෙදෙසේ පිහිටි   ගබඩාවක්  කඩා රුපියල් ලක්ෂ 10 ට  අධික වටිනා සහල් සහ වියලි මිරිස් තොගයක්  සොරාගත් සැකකරුවන් තිදෙනකු අද  (23)   අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සොරාගත් භාණ්ඩ අතර  කිලෝ 25 සහල් මිටි 50 ක්, කිලෝ 30 වියලි මිරිස් ගෝනි 19 ක් වන බව පොලිසිය කියයි.

මෙම  ගබඩාව   ඉකුත් 16 දින සිට 21 දින දක්වා දින තුනක්  වසා දමා තිබී ඇති බවත්, එම කාලය තුළ  මොවුන්  ගබඩාවේ වහලේ ස්ලැබ් එකේ  වහලේ සීට්  කපා ඉවත් කර පඩිපෙළ කුහරය  ඔස්සේ ගබඩාව ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු  එම ගබඩාව  අසල  පදිංචිකරුවන් බවත්, ඔවුන් එම දින තුන පුරා මෙම සොරකම සිදුකර හාල් මිටි සහ මිරිස් මිටි කරේ තබාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

 මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව   පොලිසිය පරීක්ෂණ පවත්වා සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පියෙක් හා පුතෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.