( තිළිණි ද සිල්වා සහ  තිලකරත්න දිසානායක )

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  අද  (18) පැවසීය .

පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරණය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබා දීමට රජය කටයුතු යොදා ඇතැයි අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත මුදල් අමාත්‍යාංශය මෙම ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් කල බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය .
 
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කලේ අගහරුවාදා (20) සිට මෙම දීමනාව ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බවයි. 
 
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවද ජයලත් මහතා කීවේය. 
 
ඇදිරි නීතය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බලප්‍රදේශ 16 තුළ වෙසෙන ජනතාවට දෙවන අදියර යටතේ එම මුදල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය. ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයේ ජනතාවටද මෙම දීමනාව ලබා දීමට පියවර ගැනේ. 
 
පසුගිය i හා ii වටයන්හීදී  ඒ ඒ ග්‍රාම සේවා වසම් වල පත් කෙරුනු ග්‍රාමීය කමිටු හරහා කෝවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් හදුනා ගැනුනු අතර එම සියලු පවුල් සදහා මෙවරද අදාල දීමනාව ලබා දීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.

නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙස සංචාරක ඇමති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.