(අංජුල මහික වීරරත්න)

සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජයේ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති”  ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ග්‍රාමීය  දිළිඳු බව තුරන් කර, සමාජය සවිබල ගැන්වීම සඳහා  මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන් සමාලෝචනය කිරීම මෙන්ම 2027 වසර සඳහා යෝජනා හඳුනා ගැනීමේ රාමුවක් සකස් කිරීම සම්බන්ධව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. 

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ මූලික අරමුණ ප්‍රජාව දිළිඳු බවින් මුදා ගැනීම බවත්, ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  මහතා මෙහිදී පැවසීය.

ඒ වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන පමණක් නොව, සියලුම සංවර්ධන හවුල්කරුවන් එක් සංවර්ධන වේදිකාවක සිට කටයුතු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.