(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෙතෙක්  ගිණුම් වාර්තා ඉදිරිපත් කර නැති රජයේ ආයතනවල ප්‍රධානීන් අයවැයට පෙර  පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්  පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙහිදී  අදහස් දැක්වූ අගමැතිවරයා රජයේ ආයතන ගණනාවක් වසර ගණනාවක් තිස්සේ  ගිණුම්  වාර්තා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර  නැති  බවයි.

මුදල් පිළිබඳ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඇති බව  ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නිතරම ප්‍රකාශ කරන හෙයින්  මෙම ආයතන ප්‍රධානීන් කැඳවීමෙන් පාර්ලිමේන්තුවේ  බලයට යළි ගෞරවයක් ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

‘ගරු කතානායකතුමනි, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවේද අන්තර්ගත වී නොමැති වැදගත් කාරණාවක් ඔබතුමාගේ සහ පාර්ලිමේන්තුවේ අවධානයට ගේන්න කැමතියි.    ආයතන රාශියක් තම යුතුකම් කොටස ඉෂ්ට කරලා නෑ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, වහාම මෙම ආයතන පිළිබඳව කැඳවීමක්  කරන්න. මොකද අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්  තමයි ප්‍රධාන ගිණුම් නිලධාරීන් වන්නේ. ගිණුම් නිලධාරීන්ට මේවා ගැන  අහක බලාගෙන ඉන්න බැහැ.

"මම කිව්වේ ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය  අපි දෙගොල්ලො ම එකඟ වෙන කාරණාවක්. ඒ නිසා කාරක සභාවේ සභාපති මොන පාර්ශවයේ වුණත්, කතානායකතුමාට තිබෙනවා යම් කිසි බලයක් නියෝගයක් නිකුත් කරන්න. මේ ආයතන කැඳවන්න.