(යොහාන් භාසුර)

ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒමෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම රුපියල් 359,000 ක් බැගින් අහිමි වී ඇති බවත් සියයට 8 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පොලිය නොගෙවුවහොත් 2030 වසරේදී ණය දෙගුණ වන බවත් 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම තත්වය යටතේ රට තුළ ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුය බව කී රණවක මහතා මූල්‍ය අරමුදලේ එකඟතා ලියවිල්ලට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ පමණින් ඊට නීත්‍යානුකූලභාවයක් නොලැබෙන බව ද සඳහන් කළේය.

එම කඟතාවයේ තිබෙන කරුණු පිළිබඳව වෙන වෙනම අදාළ අණ පනත් ගෙන ඒමට ආණ්ඩුවට සිදුවන බවත් උදාහරණ ලෙස මහ බැංකුව ස්වාධීන කිරීමේ අණ පනත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරදි කරනය පිළිබඳ අණ පනත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩිකර ගැනීම පිළිබඳ අණ පනත් ආදී වශයෙන් විවිධ අණපනත් ගෙනආ යුතු බවත් ඒ මහතා කීය.

බලාත්මකභාවයක් ගෙන එන්න නම් විපක්ෂයත් සමඟ එකතුවී ව්‍යවස්ථාවේ 157 වැනි වගන්තියේ රාජ්‍යයන් දෙකක් අතර ඇතිකරගන්නා අන්තර්ජාතික ගිවිසුම් මෙවැනි ආයතනවලටත් ගැලපෙන පරිද්දෙන් ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු බව කී රණවක මහතා සඳහන් කළේ රට බංකොළොත් කිරීම නිසා ඇතිවෙලා තිබෙන ව්‍යසනයේ තරම ගැන පැහැදිලි නිශ්චිත ගණනයක් පාර්ලිමේන්තුවට සභාගත කළ බවත්ය.

2019 රට රකින විරුවා බලයට පත් වෙන්න පෙර දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 ක්ව තිබුණ ද එය 2020 වන විට ඩොලර් බිලියන 85 කට සහ 2022 වන විට ඩොලර් බිලියන 75 කට වැට්ටු බවත් 2020 සිට 2030 දක්වා කාලයේ ගෝඨාභය පාලනයේ නොසිටියා නම් දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 123 ක් වියයුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.