(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) උදෑසන  අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු මොණරාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන පින්තාරු කරුවෙකි .

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 480 ක ප්‍රමාණය , යාන්ත්‍රිකව සොසේජස් කරල් ලෙස සකස් කර , ඒ මත චොකලට් තවරා , ඒවා සුළං නොවදින ලෙස පැකැට් කර , ඒවා පිටතින් බැලූබැල්මට චොකලට් සේ පෙනී යන ලෙස ජනප්‍රිය චොකලට් වෙළද නාමයක් ද මුද්‍රනය කර තිබුණි .

එවැනි චොකලට් ඇසුරුම් 70 ක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස අසුරා සකස් කර , ඒවා තම ගමන් මල්ලේ තවත් එවැනිම ටොෆී සහ චොකලට් සමග මිශ්‍ර කර සගවා ගෙන තිබුණි .

මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා 07/27 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .