(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි  සම්බන්ධයෙන් දැනුම ලබාදීම සඳහා විශේෂ පාඨමාලාවක් ආරම්භ කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශ්ව විද්‍යාලයක් හා එක්ව මෙවැනි ශාස්ත්‍රීය පාඨමාලාවක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

කොළඹ විශ්ව විද්‍යාලයේදී මෙම පාඨමාලාව  පසුගිය 16 වැනිදා  ආරම්භ කෙරිණ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පාඨමාලාවේ මුඛ්‍ය දේශනය පැවැත්විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සඳහා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා සම්පත්  දායකත්වය සපයනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම්  සහ  පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි.

පාඨමාලාව මගින්  ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය, පාර්ලිමේන්තුව හා මහජනතාව, මන්ත්‍රිවරයන් සඳහා වන චර්යාධර්ම, ස්ථාවර නියෝග,  මහජන සේවා ක්‍රියාවලිය සඳහා සහසම්බන්ධ වීම, කාන්තා නියෝජනය, වැනි විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විද්‍යාර්ථින්ට අවබෝධය  ලබාදෙනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා දේශනමාලා හතරක් සහ පාර්ලිමේන්තු අධ්‍යයන චාරිකාවක   ඇතුළත් වේ.

පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු, දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අංශාධිපති, ආචාර්ය ප්‍රදීප් පීරිස්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් ටිකිරි කේ.ජයතිලක,අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායකසේවා අධ්‍යක්ෂ එච්.ඊ.ජනකාන්ත සිල්වා යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.

පාඨමාලාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධීකරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.