(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කළුතර ප්‍රබල දේශපාලකයකු පක්ෂ කාර්යාලයක් ලෙස බණ්ඩාරගම සමරනායක මාවතේ පවත්වාගෙන   නාගරික සංවර්ධන අධිකාරියේ දෙමහල් ගොඩනැගිල්ලට මාස හයකින් කුලී මුදල් නොගෙවීම නිසා එම ගොඩනැගිල්ල  අත්පත් කර ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

මන්ත්‍රීවරයා විසින් බදු පදනම මත මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන ලබාගෙන තිබූ බව කියති.

නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරයකු වන ලාලින්ද හර්ෂ මහතා  මන්ත්‍රීවරයා බදු පදනම මත ලබාගෙන තිබූ  දෙමහල් ගොඩනැගිල්ලට මාස හයකින් කුලී මුදල් ගෙවා නැතැයි පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

මේ බව සිහි කැඳවමින් අදාල මන්ත්‍රීවරයාට ලිඛිතව දැනුම් දී තිබූ බවත් එහෙත් ඔහු කුලි මුදල් නොගෙවූ බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කුලී මුදල් ගෙවීම පැහැර හැරියොත් එම ගොඩනැගිල්ල අත්පත් කර ගන්නා බවට ද මන්ත්‍රී වරයාට කල්තියා නාගරික සංවර්ධන අධිකාරිය  දැනුම්දීමක් කර තිබූ බවද පැවසේ.

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ගොස් මන්ත්‍රීවරයාට අයත් බවට පැවසෙන දේපොළ ඔහුට භාරදී ගොඩනැගිල්ල අත්පත් කර ගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොදැක්වූ බවද නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් කීය.