( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව   කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද (19 )උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .
 ඔවුන් අද උදෑසන 06.16 ට කුවේට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මොවුන් අතර පිරිමි 03 දෙනෙකු සහ  ගෘහ සේවිකාවන් 28 දෙනෙකු සිටියහ .
 මීට අමතරව ඉකුත් 12 දින ද කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබූ අතර , ඔවුන් අතරින් පිරිමි 09 දෙනෙකු සහ කාන්තාවන් 24 දෙනෙකු සිටියහ .

ඒ අනුව මෙම සති දෙක තුළ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් , වීසා නොමැතිව එරට රැදී සිටි , එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබුණි . ඔවුන් අතරින් වැඩි පිරිසක්  අනුරාධපුරය , කුරුණෑගල , ගාල්ල , මාතර සහ මොණරාගල ප්‍රදේශ වල පදිංචිකරුවන් වූහ .