(සුජිත් හේවාජුලිගේ)

කුරුණෑගල මහ නගර සභාව මධ්‍යම වෙළෙඳපොළේ සහ මාලිගාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක කඩ කාමර 250 කට ආසන්න සංඛ්‍යාවක් බදුදීමේදී සිදුවී ඇතැයි කියන බරපතළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පරීක්ෂණයක් අරඹා ඇත.

මේ අතර කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් නිදහස් ප්‍රදේශයේ කඩ කාමර 31ක් පෞද්ගලික වියදමින් ඉදිකරගැනීමට අවසර ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

බස් නැවතුම්පොළ සදහා සකස් කර තිබූ මූලික සැලැස්මෙන් බැහැරව කරන ලද මෙම කඩ කාමර ඉදිකිරීම් සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ හෝ නගර සභා සැලසුම් කමිටුවේ හෝ අනුමැතිය ලබාගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙය ජනතාවගේ පොදු යහපතට බාධාවන ක්‍රියාමාර්ගයක් බව මේ සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවේ සඳහන් වේ.

පුද්ගලයන් 31 දෙනෙකුගේ පෞද්ගලිකව නාමලේඛනයක් ලබාගෙන ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව අවිධිමත් ආකාරයට මෙම කඩ කාමර ලබාදී ඇතැයිද තොරතුරු හෙළිවී ඇත.

මධ්‍යම වෙළඳපොළ 1 හා 2 අදියර යටතේ ඉදි කරමින් පවතින කඩ කාමර 133ක් හා මාලිගපිටිය කඩකාමර 12 බදු දීමේදීද අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවී ඇතැයි පවසන විගණන වාර්තාව එම කඩ කාමර බදු දීමේ කටයුතුවලදී ලංසුකරුවන්ට ටෙන්ඩර් ලියකියවිලි පවා නොදී අධෛර්යමත් කර තිබූ බවද සඳහන් කරයි.

මේ අතර මධ්‍යම වෙළඳපොළ 3 අදියර යටතේ කඩකාමර 99ක් බදු දීමද රජයේ තක්සේරුකින් තොරව සිදුවී ඇති බව විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

එමෙන්ම කුරුණෑගල වැව රවුම පරිශ්‍රය විනෝදාත්මක කටයුතු සඳහා බදුදීමේදී සහ එහි කඩකාමර බදු දීමේදී තරගකාරීත්වයකින් තොරව නියමිත ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගයෙන් බැහැරව කටයුතු කර ඇතැයිද විගණන කාර්යාල ප්‍රකාශකයෙක් පැවැසීය.

කුරුණෑගල වැව පාරේ කඩ කාමර ලබාගත් ආයතනයකින් නගර සභාව 2020 සහ 2021 වර්ෂවලදී රුපියල් හාර ලක්ෂයකට ආසන්න මුදලක් අය කරගෙන නොතිබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විගණන නිලධාරින්ගේ විශේෂ අවධානය යොමුවී ඇත.