(ටී.කේ.ජී.කපිල )

අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පියාසර කළ ගුවන් යානය තුළ ගමන් ගත් , රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයාගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා ඇමෙරිකානු ඩොලර් 9,900 ක මුදලක් , වෛද්‍යවරයා නිදි අතර සොරා ගත් චීන ජාතිකයකු  කොළඹ , කොටුව කැසිනෝ ශාලාවකදී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම රුසියානු වෛද්‍යවරයා , රාත්‍රී නිදා ගෙන සිටියදී , ඔහුගේ අත් බෑගය , ගමන් මලු රාක්කයේ තබා තිබියදී , මෙම චීන ජාතිකයා විසින් මෙම සොරකම සිදු කර තිබේ.

කටුනායක ගුවන් තොටුපොළෙන් බැස ගත් රුසියානු වෛද්‍යවරයා , තම අත් බෑගයෙහි තිබූ මුදල් අඩු බව වැටහී ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ පිළිබද පැමිණිළි කර තිබේ . එසැනින් වහා ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පොලීසිය , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර , මෙම ගුවන් යානයෙහි පැමිණි එකම චීන ජාතිකයා වූ මොහු , කඩිනමින් , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා මග හරිමින් පිටතට ගමන් කර , ගුවන් තොටුපොළ කුළී රථයක නැගී පළා යන අන්දම නිරීක්ෂණය වී තිබේ .

ඒ අනුව එම කුළී රථ සේවා කවුන්ටරය වෙත ගොස් අදාළ කුළී රථයේ ගමනාන්තය සොයා ගෙන , පොලිස් නිලධාරීන් පිරිසක් ද කොළඹ , කොටුව කැසිනෝ ශාලාව වෙත ගොස් , එහි ආරක්ෂ කැමරා පද්ධතිය පරීක්ෂා කර , මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .