(අංජුල මහික වීරරත්න)

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.

මෙම සමාගම වී  වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ  පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී අමාත්‍යවරයා මෙම කාරණය සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසූ අතර එහිදී සදහන් වූ කාරණා සැලකිල්ලට ගනිමින් එකී කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගම අසදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම විසින් ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.