( තිළිණි ද සිල්වා )

විවිධ සහතික හා ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා  රටේ විවිධ ප්‍රදේශවලින්  විශාල සංඛ්‍යාවක්  කොළඹ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට මේ දිනවල පැමිණෙන බැවින් අදාළ සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ  වේලාවක් වෙන් කරවා ගෙන පැමිණිය යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටීම වැළැක්වීම සඳහාත්, කොළඹ 01, සෙලින්කෝ ගෙඩනැගිල්ලේ කොන්සියුලර් කටයුතු අංශය අසළ මහජන රැස්වීම අවම කිරීම සඳහා, දිගු පෝලිම්වල නොසිට මෙලෙස කාල වේලාවක් වෙන් කොට තම සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයිද එම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව විවාහ සහතික , උප්පැන්න සහතික , අධ්‍යාපන සහතික ආදී ලේඛන සහතික කරවා ගැනීම ආදී කොන්සියුලර් සේවා ලබා ගැනීම අපෙක්ෂා කරන පිරිස් http://consular.mfa.gov.lk/ONLINEBOOKING යන වෙබ් සැබැදිය ඔස්සේ වේලාවක් වෙන් කරවා සතියේ දිනවල පෙරවරු 7.30 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ පැමිණිය යුතු බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.

සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය සම්බන්ධයෙන්  011 - 2338812 / 7711194 යන දුරකථන අංකයෙන්ද , විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ පිළිබද 011 - 2338836 / 3136715 යන අංකයෙන්ද, විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම 011 - 2437635 / 7101193 යන දුරකථන අංක වලින්ද, අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 011 - 2338837 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු සඳහා කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ කර ගත හැකි බව එම අමාත්‍යාංශය කියා සිටී.

ඊට අමතරව මාතර , යාපනය , මහනුවර ,කුරුණෑගල , ත්‍රිකුණාමලය  නගර වල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්හිදී මහජනතාවට සේවය සැපයීම සඳහා විවෘත කර ඇති අතර . ඒ ඒ පළාත්වල සහ අසල්වැසි ප්‍රදේශවල පදිංචි වී සිටින මහජනතාවට තම සේවා ලබා ගැනීම සඳහා එම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පැමිණෙන්නැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.