(ක.ග. කරුණාරත්න)

වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරී කළ යුද හමුදා කාර්ය මණ්ඩලයේ 68ක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 30 ක් නිරෝධායනය සඳහා අද (10) යොමු කළ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා  අධ්‍යක්‍ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය.

යුද හමුදා සාමාජිකයින් පිරිස මින්නේරිය කටුකැලියාවේ පිහිටි යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතටත් සෞඛ්‍යය කාර්ය මණ්ඩලය තම තමන්ගේ පෞද්ගලික නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහාත් යොමුකළ බව ඒ මහතා කීය.

මේ අතර දැනට කොරෝනා වැළඳී ඇති රෝගීන් බවට හඳුනාගෙන ඇති 252 දෙනා කන්දකාඩුවේ පිහිටා තිබෙන නිරෝධායන මධ්‍යස්ථාන කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන එහි ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම පැවැසීය.

කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින සෙසු අයගේ පි.සි.ආර් පරීක්‍ෂණ වාර්තා අද(10) පස්වරුව වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ,වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.