(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරායෙන් රතු ලේබල් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශන පැවැත්වූ ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු කමිටුවේ සාමාජිකයන්ගෙන්ද ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත.

මේ අනුව මෙම සාමාජිකයන් ඉදිරි දිනවල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවෙනු ඇත.

ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිෂ්කාශනය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතාය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.බී ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. කුරුඹලාපිටිය සහ ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරැ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළහ

අනතුරැව රතු ලේබල් බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම වැරදි බව එම කමිටුවේ අවසන් වාර්තාවෙන් පෙන්වාදී තිබිණ.