
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදා සඳුදා රැස්වුණු එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
මේ අනුව එම විශ්වාසභංග යෝජනාව විශේෂඥ කණ්ඩායමක් විසින් දැනටමත් කෙටුම්පත් කරනු ලැබ ඇති අතර ඊට කතානායකවරයාට එරෙහි චෝදනා 46ක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ වැඩිම චෝදනා ඇතුළත් කෙරෙන මෙරට පළමු විශ්වාසභංග යෝජනාව මෙය බවයි.
සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසිනි. ඊට සෙසු සියලුම මන්ත්‍රීවරුන් කැමැත්ත පල කර ඇතැයි දැනගන්නට ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට බාරදීමට නියමිතය
කතානායකවරයාගේ නිල නිවස රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන ගමන් නිවාස නොමැති ඇමතිවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ රජයේ උසස් නිලධාරීන්ට දෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කොළඹ ලොරිස් පටුමගේ නිල නිවසක් ලබාදීම, කතානායක නිල නිවසේ නඩත්තුව සඳහා අට දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් යෙදවීම සහ ඔවුන්ට වැටුප් සහ දීමනා ලෙස මාසිකව රුපියල් හත් ලක්ෂ හැටදහසක මුදලක් සහ ජල විදුලි බිල්පත් හා නඩත්තුව සඳහා අවශ්‍ය කෙරෙන වියදම් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේටද කොළඹ 04 ලොරිස් පටුමගේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් අංක 4-3 දරන නිවාසය පෞද්ගලික මැදිහත්වීමෙන් ලබා දී රජයට පාඩු කිරීම සහ රාජ්‍ය දේපළ අවභාවිතයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම, කතානායක නිල නිවසේ උප ලේඛනගත භාණ්ඩ වන කොට්ට උර සහ තුවා ඇතුළු උපකරණ නිසි අවසරයකින් තොරව පිටට ගෙන යෑමෙන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, නිල වශයෙන් හිමිවන නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුවේ WP NC4923 වෑන් රථයද ලබාගෙන එම වාහන වලටද ඉන්ධන ලබා ගැනීම, කතානායක මාධ්‍ය ඒකකය නමින් ඒකකයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අයත් උපකරණ අනීතිකව ලබා ගැනීම, කතානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේදී පෞද්ගලික ලේකම්වරයා සමග දිවා ආහාරය ගෙන අමුත්තකුට ගෙවිය යුතු මුදල නොගෙවා සිටීමෙන් පාඩුවක් කිරීම සහ කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඔවුන් ඉල්ලන පහසුකම් නොදෙන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කතානායකවරයා සහ පෞද්ගලික ලේකම්වරයා දෝෂාරෝපණය කරමින් ඔවුන් ස්ථාන මාරු කරමින් අභ්‍යන්තර පාලනයට මැදිහත්වීමෙන් ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය කිරීම යනාදී චෝදනා 46 ක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ මෙම විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීමට විපක්ෂයේ සියලු පක්ෂ කැමැත්ත පළකර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd