(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ක්ෂණික පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථාපනය කරනු ලැබූ  ක්ෂණික දුරකථන සේවාව සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැය කර ඇතත්  ඉන් නිසි ප්‍රතිඵල ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන සේවාව සඳහා 2020 වර්ෂයේදී මහජන පැමිණිලි 5104ක් ලැබී තිබුණද  එම පැමිණිලිවලින්  3790 ක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක්  ගෙන නොතිබූ බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට 2020 වර්ෂයේ මාස 10 ක කාලයක් සඳහා ලැබුණු පැමිණිලි වලින් සියයට 74 ක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක්  ගෙන නොතිබූ බව විගණන නිලධාරීහු පවසති.

මේ අතර එම අධිකාරිය   2020  වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාස දෙකට අදාළව  කිසිදු දත්ත ගබඩාවක් පවත්වාගෙන ගොස් නැතැයි විගණන අංශවලට තොරතුරු හෙළිවී ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ප්‍රමාණයද 2020 වර්ෂයේදී සියයට  34  කින් පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2020 වර්ෂයේදී කර ඇති  වැටලීම් ප්‍රමාණය 15,923කි.

එම අධිකාරිය 2019 වසරේදී වැටලීම්  24061  ක් සිදු කළේය.

එසේම ආයතනයේ දඩ ආදායමද 2020 වර්ෂයේදී සියයට 44 කින් පහත වැටී ඇතැයි  ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

ආයතනය 2019 වර්ෂයේදී  රුපියල් හාර කෝටියකට ආසන්න වටිනා දඩ ආදායමක් උපයා ගෙන තිබූ අතර 2020 වර්ෂයේ එම ආදායම දෙකෝටි දහ අට  ලක්ෂයකි.