(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

වෙනිසියුලානු ජාතිකයකු වන 41 හැවිරිදි අදාළ මගියාගේ සිරුර ස්කෑන් කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටින අයුරු හෙළි වී ඇති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ගුලි ලෙස ගිලගත්තේ යයි පිළිගත් බවත් ඒ මහතා කීය.

ග්‍රෑම් 132ක් බර කොකේන් අඩංගු කරල් 12ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි සොයා ගැනීම ක්‍රියාත්මක බවද සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන සඳහා මගියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවද සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් කීය.