(යොහාන් භාසුර)

ඖෂධ සඳහා පනවා තිබෙන පාලන මිල වර්තමානයට නොගැලපෙන බැවින් එය ඉවත් කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගල්කන්ද මහතා අද (11) පැවසීය.

සිමෙන්ති, කිරිපිටි වැනි භාණ්වල පාලන මිල ඉවත්කළ ආකාරයෙන්ම ඖෂධවල ද පාලන මිල ඉවත් කිරීමෙන් රට තුළ උද්ගතව ඇති ඖෂධ හිඟය මඟහරවා ගැනීමට හැකි වන බව ද ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

ඖෂධ බෙදාහරින ආයතන දින කීපයක සිට ඖෂධ ශාලාවලට බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවා තිබීම නිසා හෙට සිට ජනතාවට ඖෂධ නිකුකළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඖෂධ නොලැබීමෙන් ඖෂධ ශාලා මේ වන විටත් හිස් වී ඇති බවත් ගල්කන්ද මහතා කීය.

අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් විශාල සංඛ්‍යාවක හිඟයක් මේ වන විට පවතින බව කී ගල්කන්ද මහතා ඖෂධ ආනයනකරුවන් සියයට 30 ක මිල වැඩිවීමක් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගල්කන්ද මහතා කොළඹදී අද (11) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.