‘ආටිමිස් 2’ මෙහෙයුම යටතේ, අධි බලැති නාසා රොකට්ටුවේ ආධාරයෙන් උඩු ගුවනට ගිය, ගගනගාමීන් රැගත් ‘ඔරායන්’ කැප්සියුලය, දින දෙකක් පෘථිවියට ආසන්නව, පෘථිවි කක්ෂයේ රැඳී සිටිනු ඇති බවත්, ඉන්පසු කැප්සියුලයේ පද්ධති පරීක්ෂා කර, සියල්ල හොඳින් නම්, සඳ බලා ගමන ආරම්භ කරනු ඇති බවත් නාසා ආයතනය පැහැදිලි කරයි.

පෘථිවි කක්ෂයේ සිටිද්දී ගගනගාමීන් පැය 4 ක නින්දක් ලබා ගත් බව ද නාසා ආයතනය නිකුත් කළ නිවේදනය කළේය.

යානය පෘථිවි කක්ෂයෙන් මිදී, සඳ බලා යනු ඇත්තේ ඔරායන් කැප්සියුලයේ ප්‍රබල බූස්ටර පණ ගැන්වීමක් කරමිණි. යානයේ සූර්ය පැනල ඇති අතර, යානය පණ ගැන්වෙන්නේ සූර්ය බලයෙනි. ‘ඔරායන්’ කැප්සියුලයේ නාසා ගගනගාමීන් තිදෙනකු සිටින අතර ​සිවුවැන්නා කැනඩා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමියෙකි. නාසා ගගනගාමීන් තිදෙනා අතරේ කාන්තාවක ද සිටී.

‘ඔරායන්’ කැප්සියුලය සඳට ළං වන්නේ මෙහෙයුමේ පස් වැනි දිනයේය. සඳට ළං වී කැප්සියුලය සඳ වටා කැරැකෙන්නේ සඳේ ගුරුත්ව බලය යොදා ගනිමිනි. සය වැනි දිනයේ සඳ වටා යෑම සිදු වෙයි. දශක ගණනකට පසු මිනිසුන් සඳට ළං වන පළමු අවස්ථාව මෙය යැයි ද නාසා ආයතනය පැහැදිලි කර ඇත.

හත්වැනි සහ අටවැනි දිනවල ආපසු පෘථිවිය දෙසට පැමිණෙන් ඇති බවත්, මෙහෙයුමේ 9 දිනයේ සහ 10 වැනි දිනයේ ගගනගාමීන් ඇතුළත් කැප්සියුලයේ කොටස පැරෂූට් ආධාරයෙන් සාගරයට පතිත වනු ඇත.