(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඔන්ලයින්  පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගෙන එන එකක් බව සමගි ජන බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

ජයමහ මහතා මෙසේ පැවසුවේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය  පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.

මේක අනීතික පනතක්. සංශෝධන ආංශික කමිටුවට ඇවිල්ල සම්මත වෙලා නැහැ. පනත ගේන්නේ  කඩිමුඩියේ. ආණ්ඩුව ඉන්නේ ලොකු භීතිකාවක. ඔවුන් දන්නවා කොයි මොහොතක හරි සමාජ නැගිටීමක් වෙනවා කියලා.

වැට් එක සියයට දහ අටක් ගහලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා.

මොන පනත් ගෙනාවත් ජනාධිපතිවරණය තව මාස කීපයකින් පවත්වන්න වෙනවා. මේ අයට සේෆ්ටි බිල් වලින් බේරිලා ඉන්න බැහැ. සේෆ්ටි හවුස් වලට යන්න තමයි වෙන්නේ. තමන්ගේ කතිරයෙන් මෙයාට පිළිතුරු දෙන්න බලාගෙන ඉන්නවා.  මේ පනත් වලින් එතකොට බේරිලා ඉන්න බැහැ. පිළිතුර ආවම ඇඩ්රස් නැති වෙනවා. සමග ජන බලවේගය මේ පනතට විරුද්ධයි. මේ 2024 වසරේ බිහිවන සමග ජන බලවේගය ආණ්ඩුවක් යටතේ මාධ්‍ය නිදහස ලබාදෙනවා.