(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ  හිටපු ප්‍රධානියකු  රුපියල් පන් කෝටියකට වැඩි මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්   පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් ) තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙයට අමතරව මේ ප්‍රධානියා තවත් අවස්ථාවකදී ආයතනයේ රුපියල් පනස් ලක්ෂයක මුදලක් මාස හයක කාලයක් අයථා ලෙස පරිහරණය කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද තොරතුරු අනාවරණයවී ඇතැයි එම කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන්වේ.

පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මහජන බැංකුවේ  පේරාදෙණිය ශාඛාවේ පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු දාහතරක් 2009 වසරේ සිට 2016 2010 වසර දක්වා කාලයේදී අවසන් කර ඉන් නව කෝටියකට වැඩි මුදලක්   නව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර  ඉතිරි පන් කෝටි තුන්  ලක්ෂයක මුදල මේ හිටපු ප්‍රධානියා පෞද්ගලිකව මුදලින් ලබාගෙන වංචාවක්  කර ඇතැයි  කෝප් කමිටුව පවසයි.

මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ආයතනය කර ඇති පරීක්ෂණ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව විගණකාධිපතිවරයා පෙන්වා දී ඇතැයි  කෝප් කමිටු වාර්තාවේ දැක්වේ.

මෙම මුදල්  වංචාව කර ඇතැයි පැවසෙන්නේ  එම ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරියවරයාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන  පරීක්ෂණවල ප්‍රගතිය  මාස හයකට වරක් කෝප් කමිටුවට දැනුම් දෙන ලෙස කෝප් කමිටුව පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ  ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

රට පුරා ඇති පශ්චාත් විද්‍යා උපාධි ආයතනවල මෙවැනි වංචා  සිදුවීම  වැළැක්වීම සඳහා ක්‍රමවේද සකස් කළ යුතු බවත් මූල්‍ය අධිකාරිවරුන්  නිසි ප්‍රතිපත්තියක් මත කලින් කලට ස්ථාන මාරුවීම් ලබාදීම වැදගත් බවත්  කෝප් කමිටුව මෙහිදී වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

මේ අතර යෝජිත බදුල්ල මහනුවර අධිවේගී මාර්ගය තැනීමේදී සිදුවන පරිසර  බලපෑම පිළිබඳ ඇගයිම් වාර්තාව ඉදිරිපත් කර නොතිබියදීත් එම ව්‍යාපෘතිය වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ   පශ්චාත් විද්‍යා උපාධි ආයතනය  රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් ගෙවා තිබීම පිළිබඳවද කෝප් කමිටුවේ ඉහළ අවධානය යොමුවී ඇත.

මෙම මුදල් ගෙවා ඇති ආකාරය සහ එය නිසි ආකාරයෙන් වියදම් කර තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන්නැයිද එම  කමිටුව නිර්දේශ කර ඇත.