(නිමන්ති රණසිංහ)

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටින රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා හට  පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.

මෙරට නියෝජනය කරමින් වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා තම ල්සේවාදායකයාට විදේශ ගත වීමට අවශ්‍යව ඇති හෙයින් අධිකරණය මඟින් පනවා ඇති එම ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන මෙන් නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

විශේෂයෙන්ම මෙම සැකකරු මෙතෙක්  සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශ ලබා ලබාදී නැති බවත් අවශ්‍ය ලේඛන නොමැති බැවින් තමන්ට එසේ ප්‍රකාශ දිය නොහැකි බව සඳහන් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය .

මේ හේතුවෙන් සැකකරු විදෙස් ගත වුවහොත් විමර්ශනයට බාධාවක් වන බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබන දාහත් වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කරමින් සැකකරුගේ විදෙස් ගතවීමේ අවසරය පිලිබද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.