(ඩයනා උදයංගනී)

අ.පො.ස උසස් පෙළ 2022 විභාගය පැවැත්වීම 2023 පෙබරවාරි මස දක්වා කල් දමන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා විද්‍යුත් පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් අධ්‍යාපනය සිදු කළ සම්පූර්ණ කාලය පුරාම කොරෝනා වසංගතය පැවතීම හේතුවෙන් පාසල් සහ උපකාරක පන්ති නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම, ඉතිහාසයේ දිගුම ගුරු වැඩවර්ජනය සිදුවීම, ජන අරගල, ඇඳිරි නීතිය පැනවීම, දින ගණන් ඇදුනු ප්‍රචණ්ඩ තෙල් සහ ගෑස් පෝලිම් පැවතීම, නිරන්තර විදුලි කප්පාදුව, ඉන්ධන හිඟයෙන් ගමනාගමනය අඩපණ වීම, ආර්ථික අර්බූදය හේතුවෙන් ගෘහස්තව අසහනකාරි තත්වයක් පැන නැගීම, පසුගිය උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සහ ඊ ළඟ උසස් පෙළ විභාගය පැවැත්වීම අතර සාමාන්‍යයෙන් පැවතිය යුතු දින 280ක පමණ පරතරය මෙවර දින 98කට සීමාවීම නිසා දෙවන සහ තෙවන වර විභාගයට සූදානම් වන අයට මෙන්ම පාඨමාලා වෙනස් කරන අයට විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම යන හේතු මත මෙම ඉල්ලීම කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දැමිය යුතුයැයි විශ්වාස කරන මෙවර විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට  www.udayagammanpila.com/petition  යන යොමුව හරහා මෙම විද්‍යුත් පෙත්සමට අත්සන් තැබිය හැකි බව ද ගම්මන්පිල මහතා කීවේය.