(අංජුල මහික වීරරත්න)

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරන බවද ජනාධිපතිවරයා කීය.සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වෙති.

මේ හැම අලුත්වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වෙයි. ඒ සමාජ සබඳතාවය සහ සාමුහිකත්වය යි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාවය සහ සාමුහිකත්වය කේන්ද්‍ර කොටගෙනය. ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය.

අලුත් අවුරුද්ද අපට පෙන්වා දෙන මේ වැදගත් කරුණ පිළිබඳව මේ අවස්ථාවේ අවධාරණය කිරීම වඩාත් සුදුසු යැයි සිතමි.

අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මගක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමුහිකත්වය යි.