(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය, ඊජිප්තුවේ ඩමියෙටා වරායේ ඇති ඇමෙරිකාවට අයත් ගෑස් ගබඩා ටැංකි නෞකාවකට පසුගියදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එය මැද පෙරදිග අර්බුදය තවත් පුළුල් කරන ලකුණු පහළ කළේය.

එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් මුහුදේ පාවෙමින් තිබූ එනර්ගස් වින්ටර් නැමැති ගෑස් ගබඩා ටැංකි නෞකාවේ ගින්නක් හටගෙන ඇති අතර එය ගස්ලොග් සාලෙම් නැමැති තවත් නෞකවකටද පැතිර ගොස් ඇත. ඊජිප්තු ඛනිජතෙල් අමාත්‍යාංශය ගින්නක් ඇතිවූ බව තහවුරු කර තිබුණත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවට කිසිම සටහනක් කර නොතිබිණි.

ඉරානය, ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන නෞකාවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයන්ට පිළිතුරු ලෙස ඇමෙරිකානු හමුදාව ඉරානය දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේය. එහිදී ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ හමුදා ඉලක්ක 12 කට වැඩි ප්‍රමාණයකට ඇමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර තිබිණි.

ඇමෙරිකානු හමුදාවේ නවතම ප්‍රහාර මාලාවෙන් සිවිල් වැසියන් තිදෙනකු මියගිය බව ඉරාන බලධාරීහු ප්‍රකාශ කළහ. එම ප්‍රහාර මාලාවට පිළිතුරු ලෙස ඉරානය මැද පෙරෙදිග කලාපයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබිණි. එසේම ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ඉරානයේ සහාය ලබන ඉරාක සටන්කාමීන් වෙත එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාක භූමියේ සිට සෞදි තෙල් ටැංකි වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූවේය.