(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිකිරීම් අතරමඟ නැවතී ඇති නිවාස වල වැඩ නිම කිරීම සඳහා 2027 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.

පසුගිය කාලසීමාවන්හිදී සහ පසුගිය රජයන් යටතේ ආරම්භ කර, විවිධ හේතූන් මත අතරමග නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ගරු අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා විය.

මෙම නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට 2027 වසරේ අයවැය මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලසීමාවන්හිදී ආරම්භ කරන ලද ඇතැම් නිවාස ව්‍යාපෘති සඳහා වෙන් කළ ණය සහ ආධාර මුදල් සම්පූර්ණයෙන් ලබා නොදීම හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නවතා දමා ඇති බවත්, එවැනි නිවාස ව්‍යාපෘති 5,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, එම නිවාස ව්‍යාපෘති අතරින් භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින නිවාස හඳුනාගෙන, ඒවා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.