නැගෙනහිර ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7 ක ප්‍රබල භූමිකම්පාව මියගිය ගණන 51 ක් බවත්, 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන්දුනීසියානු බලධාරීහු පවසති. තුවාල ලැබූ 36 දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.

ඊට අමතරව, 5,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑමට ද බලධාරීන් පියවරගෙන ඇතැයි පැවැසෙයි.ඉන්දුනීසියාවේ නැගෙනහිර නූසා ටෙන්ගාරා පළාතට බලපෑ මෙම භූමිකම්පාවත් සමඟ ප්‍රබල නායයාම් සහ මාර්ග අවහිර වීම් වාර්තා වෙයි.

ඉකුත් සෙනසුරාදා (15) හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් පසු, පසුකම්පන 341 කට ආසන්න සංඛ්‍යාවක් හටගෙන ඇතැයි ද පැවැසෙයි. 2022 වසරෙන් පසු ඉන්දුනීසියාව කැලඹූ ප්‍රබල භූමිකම්පාවක් ලෙස සෙනසුරාදා (15) හටගත් මෙම භූමිකම්පාව සැලකෙයි.

ඉන්දුනීසියාව දූපත් රාජ්‍යයකි. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිවළල්ල යන නමින් හැඳින්වෙන භූතැටි මායිමට ඉහළිනි. එබැවින් භූමිකම්පා හටගැනීම සාමාන්‍ය දෙයකි.