(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්. ධර්මපාල)

රුපියල් කෝටි 500 කට අධික වටිනාකමින් යුත් හොරයින් මත්ද්‍රව‍ය තොගයක් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට ඉන්දියාවේ කොච්චි බන්ධනාගාර ගතව සිට   කොච්චිහි අධිකරණයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය සැකකරු  වාද්දුව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුලාන , සමුද්‍රාසන්න මාවත ස්ථිර පදිංචිව කරුවක් වන පුද්ගලයෙකි.

සැකකරු  වාද්දුව ප්‍රදේශයේදී  නිවෙසක් කුලී පදනම මත පදිංචිව සිටින පුද්ගලයෙකි. 

අත්අඩංගුවට ගත් මෙම සැකකරුට එරෙහිව  විවෘත වරෙන්තු ද නිකුත් කර තිබූ අතර නව දිල්ලි  පොලිසිය ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයක්ද ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

එම සැකකරු සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද තොරතුරකට අනුව වාද්දුව දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

මහා පරිමාණ මත්ද්‍රව‍ය ජාවාරම්කරුවකු වන මෝදර සුරංග නමැත්තාගේ මත්ද්‍රව‍ය තොගයක් රැගෙන ඒම සඳහා 2021 වසරේ මාර්තු මස 21 වැනි දින සැකකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු ධීවර වෙස්ගෙන මීගමුව ධීවර වරායෙන් මාලදිවයින මුහුදු සීමාවට ගොස් සිටියදී බොට්ටුවකින් පැමිණි පිරිසක් ගංජා යැයි පවසා උර 08 ක් ලබා දුන් බවත් ඒවා රැගෙන නැවත මෙරටට පැමිණීමේදී ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

එම උරවල තිබී ඇත්තේ හොරයින් මත්ද්‍රව්‍යය කිලෝ 377 ක් බවට දැනගත්තේ එම මොහොතේ බවද සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.