(සිතුම් චතුරංග)           

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 862 ග්‍රෑම් 370 ක් ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු පේසාලේ තුල්ලිකුඩිරිප්පුවේ දී අත්අඩංගුවට ගත් බව පේසාලේ පොලිසිය කියයි.

පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු ලොරි රථයක් තුළ පටවා නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගය පුත්තලමට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙරට තුළ පවතින වියළි කහ හිඟය හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට කහ ධීවර බෝට්ටු තුළ සඟවා තලෙයිමන්නාරම ප්‍රදේශයට රැගෙනවිත් ඇති බව පොලිසිය කියයි.

තලෙයිමන්නාරම සිට වියළි කහ බෙදාහැරීම සඳහා පුත්තලම ප්‍රදේශයට රැගෙන යන බවද සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම, නිල්ලයාඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පුද්ගලයෙකි.

සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.