(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ ඉන්දියාවට වැඩිම කැමැත්තක් දක්වන රට ශ්‍රී ලංකාව බව ඇමෙරිකාව පදනම් කර කරගත් පියු පර්යේෂණ මධ්‍යස්ථානය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 79 ක් ඉන්දියාව පිළිබඳ හිතකර මතයක් දරන බවද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දුන්නේය.

එසේම ඉන්දියාව කෙරෙහි අහිතකර මතයක් දරන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 11 ක් පමණක් බවද එහි දැක්වේ.

ලෝකයේ රටවල් 36ක් ඉන්දියාව පිළිබඳ දරන මතය විමසා බැලීම සඳහා පියු පර්යේෂණ මධ්‍යස්ථානය මෙම සමීක්ෂණය සිදු කර ඇත.

ඒ අනුව ඉන්දියාව පිළිබඳ වැඩිම පැහැදීමක් ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ට වන අතර 2024 වසරට සාපේක්ෂව මෙම වසරේදී ඉන්දියාව පිළිබඳ හිතකර මතයක් දරන මෙරට ජනතාව සියයට 14 ක ප්‍රතිශතයකින් ඉහල ගොස් තිබේ.

එසේම ලෝකයේ ඉන්දියාවට වැඩිම අකැමැත්තක් තිබෙන රට පාකිස්තානය වන අතර ඉන්දියාව පිළිබඳ හිතකර මතයක් තිබෙන්නේ පාකිස්තානුවන් සියයට හතක් පමණි.

ශ්‍රී ලංකාවේ ඉන්දියාව පිළිබඳ හිතකර මතයක් නොදරන්නේ සියයට 11 ක ප්‍රතිශතයක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

ජර්මනිය,ඊශ්‍රායලය, ඉතාලිය, ස්වීඩනය, ජපානය සහ තායිලන්තය යන රටවලද බහුතරයක් ඉන්දියාව පිළිබඳ හිතකර මත පළ කර තිබේ.

රටවල් 36ම සැලකිල්ලට ගත් විට එහි සමස්ත ජනතාවගෙන් සියයට 45ක් ඉන්දියාව පිළිබඳ හිතකර මතයක් දරන බවත් සියයට 41ක් ඉන්දියාව පිළිබඳ අහිතකර මතයක් දරන බවත් එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

මෙවර ඇමෙරිකානුවන්ද ඉන්දියාව පිළිබඳ දරන හිතකර මතය අඩුවී ඇතිි බවත් ඇමෙරිකානුවන්ගෙන් සියයට 50ක් ඉන්දියාව පිළිබඳ දරන්නේ අහිතකර මතයක් බවත් එම වාර්තාවේ දැක්වේ.

තිබෙන දත්ත වලට අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු බව ශ්‍රී ලාංකිකයන් බහුතරය පිළිගන්නා බවද එම වාර්තාව පෙන්වා දෙයි.