293 දෙනකුට මරු කැඳවමින් ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් හි පසුගිය මාසයේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය  සේවකයෝ තිදෙනෙක් මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු (සංඥා) අරුන් කුමාර් මහන්තා, ඉංජිනේරු මොහොමඩ් අමීර් ඛාන් සහ කාර්මික ශිල්පී පප්පු කුමාර් යන සැකකරුවන්ය.

මෙම සැකකරුවන්ට එරෙහිව සාපරාධී මිනීමැරුම් සහ සාක්ෂි විනාශ කිරීම පිළිබඳ චෝදනා ගොනු කිරීමට මධ්‍යම විමර්ශන කාර්යාංශය කටයුතු කර ඇත.

දුම්රිය මගීන් 293 කට මරු කැඳවමින් තවත් මගීන් 1000 කට තුවාල සිදු කරමින් සිදු වූ එම අනතුර මෙම සැකකරුවන් තිදෙනාගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

මොවුන් තිදෙනාගේ ක්‍රියා කලාපයන් අනතුරට හේතු වී ඇතත් මොවුන්ට මිනී මැරීමේ චේතනාවක් තිබී නොමැති බවද මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.චේතනාව තිබුණ බව තහවුරු වූවා නම් සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කරන බව මධ්‍යම විමර්ශන කාර්යාංශය පෙන්වා දී තිබේ.

(034)