(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩි ලෙස අවධානයෙන් පසුවන ලෙස සිය රටවැසියන්ට උපදෙස් දෙමින් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඊයේ (22) යාවත්කාලීන කළේය.

තුන්වෙනි මට්ටමේ තිබූ සංචාරක උපදේශනය යාවත්කාලීන කිරීම මගින් දෙවැනි මට්ටමට පහත දමා ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර් ථික අර් බුදය හේතුවෙන් ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළුව ආනයනික භාණ්ඩ වල හිඟයක් පවතින බවත් මේ නිසා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති වූ නමුත් කිව්.ආර් ක්‍රමවේදය මගින් තත්ත්වය සමනය කර ගැනීමට හැකි වී තිබෙන බව සංචාරක උපදේශනයේ දැක්වේ. 

සැපයුම් දාමයන්ට බාධා ඇති වීම හේතුවෙන් ආහාර හා ඖෂධ හිඟයක් විශේෂයෙන් දුරබැහැර ප්‍රදේශ වල ඇති වී තිබුණත්, බොහෝ හෝටල්, ආපනශාලා, සිල්ලර වෙළඳසැල් සහ පෞද්ගලික රෝහල්වල සැපයුම් තිබෙන බව එහි සඳහන් වේ.

සීමිත කාලසීමාවක විදුලිය ඇනහිටීම් නිතර සිදුවන නමුත් බොහෝ සංචාරක හෝටල්වල  විදුලි ජනන යන්ත්‍ර ඇති බව එහි දැක්වේ.