(සුජිත් හේවාජුලිගේ)

රස පරීක්ෂක  දෙපාර්තමේන්තුවේ සහ  නීතිපති දෙපාර්තමේන්තුවේ  පුරප්පාඩු දෙසීයකට වැඩි සංඛ්‍යාවක් කලක් තිස්සේ නොපිරවීම හේතුවෙන් ඒවායේ වැඩ කටයුතුවලට විශාල වශයෙන් බාධා මතුව ඇතැයි වාර්තා වේ.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ  පුරප්පාඩු 100ක්ද නීතිපති දෙපාර්තමේන්තුවේ  පුරප්පාඩු  120 ක්ද මෙලෙස පවතින බව  අධිකරණ අමාත්‍යාංශ  ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා සම්බන්ධයෙන්  බරපතළ ගැටලූ  පවතින බවත්  පොලීසිය එම දෙපාර්තමේන්තුවට එවා ඇති වාර්තා 3776 ක්  අතරින් හෙරොයින්  ග්‍රෑම් 5කට වැඩියෙන් අඩංගු සාම්පලවලට අදාල  වාර්තා ඇත්තේ   තුනක් පමණක් බවත්  අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

පොලිසිය කිසිදු මත්ද්‍රව්‍යක් අඩංගු නැති සාම්පල 209ක්  රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට   එවා ඇතැයිද මේ එක් සාම්පලයක් සඳහා  එම  දෙපාර්තමේන්තුවට  රුපියල් 20,000 ක පමණ මුදලක්  වැය වන්නේ  යැයිද  ඔහු කීවේය.

සමහර පොලිස් ස්ථාන හිතාමතාම මෙවැනි දේවල් එවනවා දැයි සැකයක් මතුවන බවද  අමාත්‍යවරයා පැවසුවේය.

පොලිසියට  නඩුවක්  කල් දාන්න අවශ්‍ය  නම්  ඔවුන් කරන්නේ සෑම ලිපි ගොනුවක්ම නීතිපති දෙපාර්තමේන්තුවට යවන එක  බවත් මේ හේතුවෙන් එම  දෙපාර්තමේන්තුවේ ඔරොත්තු නොදෙන ලිපිගොනු සංඛ්‍යාවක් ගොඩගැසී  ඇති බවත්  ඔහු සඳහන් කළේය.