(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට ආසන්නයේ පිහිටි ඇතුමල්පිටිය වැවේ වැව්පිටියේ තිබී ඉපැරණි ශිව දේවාලයකට අයත් ශිවගල නමින් හඳුන්වනු ලබන පුරාවිද්‍යා ස්මාරකයක්  හමුවූ බව පොලොන්නරුව පොලීසිය කියයි.

මෙය අඩි 06ක් පමණ දිගින් සහ අඩි 04ක් පමණ පළලින් යුත් බව පුරාවිද්‍යා නිලධාරීහු පැවැසූහ.

පොලොන්නරුව පුරාවිද්‍යා කලාප කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් එම වැව්පිටියට ගොස් මෙම පුරාවිදු ස්මාරකය හඳුනාගන තිබේ.

ශිව දේවාලයක අභ්‍යන්තරයේ තැන්පත් කර තිබෙන්නට ඇතැයි බොහෝදුරට විශ්වාස කෙරෙන මෙම දුර්ලභ ගණයේ ශිවගල ක්‍රිස්තු පූර්ව 07වන සියවසට පමණ අයත් එකක් වියහැකි බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.

නිධන් සොරුන් විසින් මෙම ශිවගල පුරාවිද්‍යා බිමක තිබී හෝ නීති විරෝධී කැණීමක් මගින් සොයාගෙන  රැගෙන ඒමෙන්  පසුව මෙම වැව්පිටියේ අත්හැරදමා යන්නට ඇතිබවට විමර්ශන සිදුකරන පොලීසිය සහ පුරාවිද්‍යා නිලධාරීහු සැක පළ කරති.  

පොලොන්නරුව පොලීසිය සහ පොලොන්නරුව පුරාවිද්‍යා කලාප කාර්යාලයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ සිදුකරති.