ලංගම සහ පෞද්ගලික බස්රථවල සහ දුම්රියේ ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයාම ඉදිරියේදී නීතියක් බවට පත්කර ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහනය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ. එය ඉතාම හොඳ අදහසක් බවත් එවැනි කිසියම් විනයකට යටත් පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳව අසන්නට ලැබීම පවා භාග්‍යයක් බවත් පැවසීමට අපි නොපැකිළෙමු. එවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඉදිරියට එන සියලු බාධා ජයගැනීමට ඇමැතිවරයාට ශක්තිය සහ ධෛර්යය ලැබිය යුතු බවත් ප්‍රකාශ කරමු.
ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යන පොදු ප්‍රවාහන සේවයක් පිළිබඳව අප සියලු දෙනා තුළ පවතින්නේ සිහිනයක් පමණි. එවැනි සේවයක් මේ රටේ ජනතාව දැක ඇත්නම් ඒ නගරාන්තර දුම්රිය සහ බස් සේවාවලදී පමණි. මේ දෙවර්ගයම සැලකෙන්නේ සුඛෝපභෝගී මට්ටමෙනි. එසේ වුවත් ඇතැම් අවස්ථාවලදී සුඛෝපභෝගී බස් රථ පවා සිටගෙන යාමට මගීන් පටවාගනු අපි දැක ඇත්තෙමු. එසේ වුවද සාමාන්‍ය මහජනතාව ගමන් ගන්නා බස් සහ දුම්රිය නම් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් පටවාගෙන යනු දැකිය හැක්කේ ඉතාම කලාතුරකිනි. එයද නීතියක් නිසා නොව මගීන් නොසිටින අවස්ථාවක් වීමේ හේතුවෙනි. එසේ නොමැති නම් අප සාමාන්‍යයෙන් දකින්නේ පාපුවරුවල පවා එල්ලීගෙන අධික ලෙස තෙරපෙමින් බස් සහ දුම්රියවලින් ගමන් ගන්නා පිරිසකි. ඔවුන්ට අනුව නම් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් පටවා ගැනීම මැජික් එකක් පමණි.
මේ ආකාරයේ ආසන ගණනට මගීන් ගෙන යන බස් සහ දුම්රිය සේවා මැජික් එකක් බවට පත්වී ඇත්තේ මේ තරම් කාලයක් මගී ජනතාව විඳින දුක පිළිබඳ අදාළ මැති ඇමැතිවරුන් ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකිරීම හේතුවෙනි. අමරවීර අමාත්‍යවරයාගේම වචනවලින් සඳහන් කළොත් මෙරට ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියවලද මගී ජනතාව වෙනුවෙන් ප්‍රමුඛ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නැත. එසේම ඒවායේ මුදල් ගෙවා ගමන් ගන්නා මගීන්ද තමන්ගේ අයිතිවාසිකම් ගැන නොදන්නා බවද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මගී අයිතිවාසිකම් සුරැකෙන මගී ප්‍රවාහන ක්‍රමයක් ඇතිකරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව කටයුතු කිරීමට පියවර ගණනාවක් ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.
මේ අදහස පියවරින් පියවර හෝ ක්‍රියාත්මක කිරීම මෙරට පොදු ප්‍රවාහන සේවාවේ විශාල ඉදිරි පිම්මක් වනු ඇති බව සඳහන් කරමු. ලොරි චැසිවලට සවිකරන ලද බස් වෙනුවට සුරක්ෂිත බස්රථ ගෙන්වා ප්‍රවාහනයට එකතු කිරීමට ගෙන ඇති තීරණයද පොදු ප්‍රවාහනය දිනපතාම ඇසුරු කරන මහජනතාවගේ මහත් ආස්වාදයට හේතුවනු ඇත. එය නිසැකවම මගී ජනතාව තුළ පොදු ප්‍රවාහනය පිළිබඳ විශ්වාසය ඉහළ නංවන ධනාත්මක නැඹුරුවකි.
බස් සහ දුම්රිය සේවය ගුණාත්මක ලෙස වර්ධනය කිරීමේදී මගී ජනතාව වෙතද සුවිශේෂ වගකීමක් පැවරෙයි. එම වගකීම වන්නේ පොදු ප්‍රවාහන සේවා පරිහරණයේදී විශේෂයෙන් බස් සහ දුම්රියවලට ගොඩවීමේදී විනය රැකගැනීමත් බස් සහ දුම්රිය ආරක්ෂා කර ගැනීමත්ය.
හරිහැටි සැලකුවොත් කොරෝනා රෝගයේ බලපෑම් විසින් අපේ රට ඇතුළු සෙසු ලෝකය පුරාම ජනතාවගේ සිතුම් පැතුම් තුළ ප්‍රබල වෙනස්කම් ඇති කර තිබේ. ආසියානු රටවල දකින්නට නොහැකි බාහිර සමාජයේ හැසිරීම්වල විනයගරුක භාවය කොරෝනාව මර්දනය සඳහා යොදවාගනු ලබන සමාජ දුරස්ථභාවය තුළින් ඇතිකර ගැනීමට හැකියාව ලැබී තිබේ. අපේ රටේ බස්නැවතුම්පොළවල දුම්රිය ස්ථානවල පමණක් නොව ෆාමසි සහ සුපර් මාර්කට් ඉදිරිපිට පවා දුරස්ථභාවය රැකගනිමින් විනයගරුකව හැසිරුණු ජනතාවක් අපට දැකගත හැකිවූයේ කොරෝනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. එකී විනයගරුක බව බාහිර සමාජය තුළ කටයුතු කිරීමේදී දිගටම රැකගත හැකි නම් එය රටේ ඉදිරි ගමනට පවා රුකුලක් වනු ඇත. කොරෝනාව තුරන් වූ කාලයක එය ඉතා ඵලදායී ලෙස රටේ සංවර්ධනයට පවා අදාළ කරගත හැකිවනු ඇත.
කෙසේ වුවද ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යන බස් සහ දුම්රිය සේවා සැපයීම එකවර කළ හැක්කක් නොවේ. ඒ වෙනුවෙන් දැරිය යුතු විශාල පිරිවැයක්ද වෙයි. මූලික වශයෙන් අලුත් බස් රථ සපයාගත යුතුය.
පොදු ගමනාගමන සේවා දුර්වලව පවතින රටක සංවර්ධනය පිළිබඳ පම්පෝරි ගැසීමෙන් පලක් නැත. ඇත්තවශයෙන්ම රටක සංවර්ධනයේ සාර්ථකත්වය මැන බැලෙන ප්‍රධාන සාධකයක් වන්නේ එරට තුළ පවතින පෞද්ගලික වාහන සංඛ්‍යාව නොව පොදු ප්‍රවාහන සේවාවල උසස් බවයි. රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවා නම් එයින් ගම්‍ය වන්නේ එරට සංවර්ධනයෙන් ඉහළ මට්ටමක සිටින බවය. අපටද අවශ්‍ය වන්නේ එවැනි රටකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ යෝජනාවක්, විනයගරුක සේවක් කරන්න ඕන, සමහර අය මගීන්ට සලකන්නේ සතුන්ට වගේ. දැන් අලුත් නීති, අලුත් ක්‍රම එන්න ඕන ..
හොඳ අදහසක්..., නමුත් ලෝක වෙළඳපලේ අඩුවෙලා තිබෙන තෙල් මිලේ සහනය පොදු ප්‍රවාහන සේවාවලටවත් ලබලා දෙන්න..
මෙය යතාර්ථයක් වීමට නම් බස්රථ ප්‍රමාණය වැඩිකළ යුතුයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ප්‍රායෝගිකව බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙයි. නමුත් කෙසේ හෝ රටේ ඉදිරි ගමන වෙනුවෙන් මෙය සාර්ථක කර ගැනීම කාළෝචිත වේ.
යෝජනා නම් කීයක් ගෙනාවද? තාම බස්වල කන් පැලෙන කැසට් සද්දෙ නවත්වන්න බැරි වුණා. සෙමි ලක්ෂරි කියන ප්‍රෝඩාව නවත්වන්න බැරි වුණා.
ලංකාවට ගැලපෙන්නේ නෑ. මොකද වැඩිවන බස් ප්‍රමාණයට මාර්ග ප්‍රමාණවත් නෑ. අනික ලංකාවේ පදිංචි කලාප කේන්ද්‍ර වෙලා නෑ. මිනිස්සු හිතුණු තැන්වල ගෙවල් හදන් ඉන්නේ.. එතකොට විශාල බස් ප්‍රමාණයක් යොදවන්න වෙනවා.. වෙන්න ඕනි. එදිනෙදා කටයුතු වෙනුවෙන් අනවශ්‍ය විදිහට ගමන් යන්න වෙන එක නවත්වන්න. මේ වෙලාව තමයි හොඳම වෙලාව... සියලුම රාජ්‍ය සේවා විමධ්‍යගත ගත කරලා, ළඟම පාසල අනිවාර්ය කරලා ආර්ථික යාන්ත්‍රණයට අවශ්‍ය අය විතරක් එළියට ගන්න ඕනෑ...
ලෝකේ වෙන මොන රටේද එහෙම කරන්නේ? සීට් ගානට මිනිස්සු ගන්නේ හයි වේ බස් වලට විතරයි. අනිත් බස් වලට එහෙම නැහැ.
රාජ්‍ය සේවය විමධ්‍යගත කරනවා කියන එක ප්‍රේමදාසගේ කලේ ඉඳන් කියනවා. මහින්ද මහත්මයාගේ කාලේ කෝටිගණන් වියදම් කරලා රජයේ ආයතන සදහා පළාත්බදව ගොඩනැගිලි සංකීර්ණ පවා හැදුවා. නමුත් තවමත් ජාතික හැදුනුම්පත ගන්නත් , විදේශ ගමන් බලපත්‍රයක් වෙන වෙන අවශ්‍යතා ඉටු කරගන්නත් කොළඹ යන්න ඕනේ... ගාල්ල, මාතර ඉඳන් කොළඹ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් දිනපතා පොදුප්‍රවාහන සේවාවලින් ගමන් කරනවා. විවධ සේවා ඉටු කරගන්න ජනතාවත් ගාල්ල මාතර ඉඳන් කොළඹ යනවා. මේවා පළාත්බදව කරන්න බැරි මොකද?
කාලෝචිතද කියලා අහනවා? හිටගෙන යන පෝලිම් 3යි, ඒ අතරින් කොන්දොස්තරට යන්නත් ඉඩදෙන්න ඕනේ.
ලංගමය නගා සිටවමු...
ඊට කලින් බස් එකක් දෙකක් තියෙන පාරවල් වලට බස් දැම්මොත් නරකද?
මගී ඉල්ලුමට ප්‍රමාණවත් බස්රථ සංඛ්‍යාවක් නොමැතිකම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මෙම අදහස ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලුවක් වියහැකියි.