(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් වන්නේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී සූරිය බණ්ඩාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අරඹමින් මන්ත්‍රීවරයා මේ බව කීය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත පරිච්චින්න කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංදේශය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.එමෙන්ම නීතිපතිවරයා විසින් මේ පනත ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට සහතික කර තිබෙනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවන ආකාරයේ අප දුටුවා.මේ පනත ඉවත් කළොත් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට එම ප්‍රචාර මගින් කියැවුණා.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් වන්නේ නැහැ.මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ යුද්ධයේ නිමාවත් සමඟයි.එකල මේ පනත සම්මත කරගත්තේ ජාතික ආරක්‍ෂාව ආරක්ෂාව තහවුරු කරන්න නොව එක්තරා පක්ෂයක ආරක්ෂාව තහවුරු කරගන්නයි.යුද්ධය අවසන් කිරීම සඳහා දායකත්වයක් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දේශපාලන ප්‍රවාහයට එකතු වෙනවා යැයි සමාජයේ යම් කතා බහක් නිර්මාණය වුණා.ඔහුගේ ඒ දේශපාලන ආගමනය වැළැක්වීම සඳහා එවකට පැවති රජය යම් උපක්‍රම පාවිච්චි කළා.එහි පළමු උපක්‍රමය ලෙස එතුමා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කළා.ඊට පසුව කඩිමුඩියේ මේ පනත ගෙනවිත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරක් ඇතිකර ඒ තනතුර ඔහුට ප්‍රදානය කළා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.