(ඩයනා උදයංගනී)

මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරු හමුවේ  පැවසීය.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිවරයා මෙහිදී සවුදි විදේශ අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළෙ සවුදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමඟ, ජනාධිපති කාර්යාලයේදී අද (14) පෙරවරුවේ පැවති හමුවේ දීය.  

ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරු ද මෙහිදී කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර,  තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවත්, ශ්‍රී ලංකාවට ද සහාය ලබාදීමට සූදානම් බවත් පැවසීය.

දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ සවුදි අරාබි තානාපති අබ්දුල් නසීර් අල් ෆර්හාත්, සවුදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල් රහමන් අල්දාවූඩ්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඔගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.