(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය (carbon neutrality) ලබාගැනීම, කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී තිබේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.  

සහනදායී දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳ පොළ, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දැනුම මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි නිලධාරීන් සමඟ හුවමාරු කර ගනු ලැබීය.

පුනර්ජනීය බලශක්තිය සම්බන්ධව ද අදහස් දැක්වූ සෝල්හයිම් මහතා  ඉන්දියාව සහ චීනය වැනි රටවල් එහි ප්‍රබල වාසි රැසක් හිමි කර ගෙන සිටින බවත්, ශ්‍රී ලංකාවට ද එම වාසි අත් කර හැකි බවත් පෙන්වා දුන්නේය.